රන් මුදුවක් මිලදී ගැනීමට පැමිණ රන් ආලේපිත යකඩ මුදුවක් සමග රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා රන් මුදුවක් මාරු කරගෙන ගිය කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හෝමාගම ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව ඉකුත් 21 දා හෝමාගම ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට පැමිණ එම වෙළද සැලෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා රන් මුදුවක් මිලදී ගැනීමට කතා බහ කරගෙන මුදු පරික්ෂා කරමින් සිට තිබේ.
ඒ අතර තුර කාන්තාව විසින් රන් ආලේපිත යකඩ මුදුව අතගිලි වලින් ගලවා තබා එහි තිබු රන් මුදුවක් අතැගිලි මත රදවා ගෙන රුපියල් 500 ක අත්තිකාරමක් ලබා දී බැංකුවට ගොස් මුදල් රැගෙන එන්නම් කියා පිටව ගොස් තිබේ.
වෙළද සැල් හිමියාට ඇයගේ ඉක්මන් පිටව යාම පිළිබදව සැක සිතී ඇය පරික්ෂා කරමින් තිබූ මුදු තොගය නැවත පරික්ෂා කිරීමේදී ඒ තුළ යකඩින් නිමවූ රන් ආලේපිත මුදුවක් තිබී හමුවී තිබේ.
ඒ අනුව එම කාන්තාව පිලිබදව පොලිසිය දැනුවත් කොට ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම කාන්තාව මීට පෙරද දිවයින පුරා පිහිටි රන් ආභරණ අලෙවි මධ්‍යස්ථාන කිහිපයකින් මෙලෙස රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධින් හට අදාළ අධිකරණයේ නඩු විභාග වන බව ද වාර්තාවේ.














































