හරක් කටා සහ කුඩු සළිඳු සමඟ ගනුදෙනු කළ ඉහළ පෙළේ දූෂිත පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ගැන තොරතුරු එළියට .
හරක් කටා සහ කුඩු සළිඳුගෙන් මේ වන විට කරගෙන යන දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී ඔවුන්ගේ අපරාධ ජාලය සමඟ සමීපව කටයුතු කළ දූෂිත පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු පිළිබඳ අනාවරණය වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
විශේෂත්වය වන්නේ මෙම පාතාලයින් සමඟ ගනුදෙනු කරමින් මුදල් ඉපැයූ නිලධාරීන් අතර පොලිසියේ ඉහළම නිලධාරීන් ද සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීමය.
කෙසේ වෙතත් මෙතෙක් එම පොලිස් නිලධාරීන් සම්බන්ධව සටහන් තැබීම සිඳුකර නැති බවත් , ඉදිරියේදී හෙලි කරගැනීමට නියමිත තවත් තොරතුරු මඟින් නිශ්චිතව තහවුරු කරගැනීමෙන් අනතුරුව එම සටහන් තැබීම සිඳු කරනු ඇති බවත් විමර්ශන අංශ කියයි.
කුඩු සළිඳු සම්බන්ධ වූ පානදුරේ වෙඩි තැබීමේ සිද්ධියකින් පසු සළිඳුට සහ ඔහුගේ ගෝලයින්ට රටින් පිටවීමට අවස්ථාව සලසා දී මිලියන ගණනකින් මුදල් ලබා ගත් ඉහළ පොලිස් නිලධාරියෙක් පිළිබඳව ද විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් වෙමින් ඇතැයි ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙතෙක් සිඳුකළ ප්‍රශ්නකිරීම් වලදී කුඩු සළිඳුගේ ගෝලයෙක් සහ අවි දෙකක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශවලට හැකි වී තිබේ.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හරක්කටාගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී වර්ෂ 2022 දී ජුනි මාසයේ අහංගම දී කළ පුද්ගල ඝාතනයක් සඳහා යොදා ගත් ගිනි අවිය උඩුගම බස් නැවතුම්පල ආසන්නයේ ගසක් යට වළ දමා තිබී සොයා ගෙන ඇත.
එය දේශීයව නිශ්පාදනය කළ ගිනි අවියක් බව විමර්ශන ආරංචි මාර්ග කියයි.
(ලංකා සර )














































