ජීප් රථයක පැති කණ්නාඩි ගලවනු ලැබූ සොරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කර ඇතිබව වාර්තා වේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අලූත්කඩේ අංක හය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේදී ෆොන්සේකා මාර්ගය දෙසින් ශබ්දයක් ඇසී බලන විට ජීප් රථයක පැති කන්නාඩි දෙක යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගලවන අයුරු නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කොස්තාපල්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එක් සැකකරුවකු තියුණු ආයුධයකින් නිලධාරියාගේ දකුණු අත කපා තිබෙන බවට බම්බලපිටිය පොලීසිය පවසයි.
සැකකාර පුද්ගලයන් දෙදෙනා විසින් ගලවන ලද පැති කන්නාඩි දෙක බම්බලපිටිය පොලීසිය සතුව තිබෙන අතර එම සොරකමට පැමිණි පුද්ගලයින් සොයා පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සදහන්.














































