අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින , කොත්මලේ ඔයේ සිටින මත්ස්‍යයින් ඊයේ (16) සිට හදිසියේ මිය යන බව වාර්තා වේ. මෙසේ මිය යෑම සිඳු වන්නේ ජලාශයේ අඹේවෙල සිට මෙරායා , ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමීටර් 12ක් පමණ දුරට බව සඳහන්.
මේ වන විට කොත්මලේ ජලාශයෙහි ජලය කළු පැහැ ගැන්වී ඇති අතර ඉහළ කොත්මලේ ජලාශය දක්වා මත්ස්‍යයින් මිය යාමේ අවධානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර තිබේ.
මෙසේ මිය යන මසුන් ජලාශය දෙපස පදිංචි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් විසින් රැගෙන යන බව වාර්තා වේ. නමුත් එම මත්ස්‍යයින් ආහාරය සඳහා යොදා නොගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ප්‍රදේශවාසීන්ගෙන් සහ වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම මෙම මත්ස්‍යයින් හදිසියේ මිය යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් යවා ඇති බව වාර්තා වේ.















































