පාසල් ළමුන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝග පැතිරයාමේ අවදානම තවදුරටත් පවතින බවත් , ඇස් රෝගය වැළඳුන දරුවන් පෙරපාසල් සහ පාසල් වෙත යොමු නොකිරීම මඟින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකි බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙර්රෙරා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
“මේ දවස්වල පාසල් දරුවන් අතර ඇස් රෝගයක් ව්‍යාප්ත වෙනවා. මෙහිදි රෝග ලක්ෂණ විදියට ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ හා හිසරදය වගේ රෝග ලක්ෂණත් අපි දකිනවා. මේක වෛරස් උණ රෝගයක් විදියට තමා අපි දකින්නේ. මොකද ඉතාම සීඝ්‍රයෙන් මේක බෝවෙන්න පුළුවන්. කවුරු හරි ඇස් රෝගය තියෙන කෙනෙක් අල්ලලා කොහේ හරි තැනක් ඇල්ලුවොත් ඒ තැන නිරෝගි පුද්ගලයෙක් ඇල්ලුවොත් ඊට පස්සේ තමන්ගේ ඇස් ඇල්ලුවොත් තමා මේක බෝවෙන්නේ. ළමයි එකට එකතුවෙලා සෙල්ලම් කරන නිසා ඒ අය අතර බෝවීමේ ඉඩකඩ වැඩියි. මේ රෝග ලක්ෂණත් එක්ක සමහර වෙලාවට ඉහළ ස්වසන මාර්ගයේ ඒ කියන්නේ කැස්ස, හෙම්බිරිසාව, උණ වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් දරුවාව පාසල් යවන්න එපා. දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට, මොන්ටිසෝරි යවන්නත් එපා . “














































