පාස්කු මංගල්‍යය යනු, සිත් තුළ ඇති අඳුර දුරු කොට බලාපොරොත්තුව ගෙන දෙමින් ජීවිත පරිවර්තනයකට කැඳවන ක්‍රිස්තුත් වහන්සේගේ බලය ලොවට ප්‍රකාශ කෙරෙන දිනයකි.
ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරන මෙදින බලාපොරොත්තුව සහ විමුක්තිය තුළින් අන්ධකාරය සහ අපේක්ෂා භංගත්වය තුරන් කිරීමේ පණිවිඩය මෙනෙහි කිරීමට සැමට ආරාධනා කරයි.
අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ යුගයක් අප දැන් අවසන් කරමින් සිටින අතර යහපත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාවේ දෑස් දල්වාගෙන සිටින්නෙමු.
ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ එකී අපේක්ෂාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටියි. ඉතා කෙටි කලක් තුළ එම අභියෝගය ජයගත හැකි බව මම තරයේ විශ්වාස කරමි. අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණු වලින් මෙන්ම පසුගාමී ප්‍රවනතාවලින් බැහැරව රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීමය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව තවමත් ඔබගේ මතකයෙහි රැඳී ඇති බව මම හොඳින් දනිමි. එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද සිහිපත් කරමි.
එමෙන්ම එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට මා කැපවී සිටින බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට, ඥානාලෝකය, ධනාත්මකබව සහ ආධ්‍යාත්මික ශක්තිය පිළිබිමු කෙරෙන පාස්කු මංගල්‍යය ආශිර්වාදයක්ම වේවා යි! ප්‍රාර්ථනා කරන අතර සියලු කිතුනු බැතිමතුන්ට අර්ථවත් සහ සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා යි! සුභාශිංසනය කරමි.














































