ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධි ලෙස පුද්ගලයින් රැගෙන යාමේ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් ඉන්දියාවේ බැංගලොර් හිදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මොහොමඩ් ඉම්රාන් ඛාන් නැමැති මෙම සැකකරු ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
තමිල්නාඩු රාමනාදන්පුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති අතර 2021 වසරේ සිට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශන සිදුකර තිබූ බව සදහන්.
කැනඩාවේ රැකියා සඳහා යොමුකරන බවට අසත්‍ය ප්‍රකාශ සිදුකර මුදල් ලබාගනිමින් මෙම ජාවාරම්කරු ශ්‍රි ලාංකිකයින් තමිල්නාඩුව හා බැංගලෝරය හරහා නීතිවිරෝධි ලෙස ඉන්දියාවට රැගෙන ඒම සිදුකර ඇති බවට ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් මීට පෙර ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා වේ.














































