මරදාන පොලිසියේ පරිසර අංශයේ කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් කුලියාපිටිය ප්‍රදේශයේදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ,පොලිස් සැරයන්වරයෙකුව සිටියදී ගිරිඋල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි කර තිබේ.
එම කාලයේ සිදුව ඇති බව කියන රිය අනතුරක අගතියට පත් පාර්ශවය වන්දි ලබා ගැනීම සදහා කුලියාපිටිය දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව සදහන්.
අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සැකකාර මෙම පොලිස් නිලධාරියා නම් කර තිබූ අතර එහිදී පැමිණිලි පාර්ශවයට වාසි සහගත ලෙස සාක්ෂි ලබා දීම සදහා මොහු විසින් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව සදහන්.
එහිදී අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































