ගාල්ල උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක විදේශිකයන්ගෙන් මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහ සාක්ෂිකරුවන්ට අයුතු බලපෑම් එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළ හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමිකරුවෙකු, ඔහුගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙකු ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම වසර මුලදී අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙනි. රුසියානු සංචාරකයින් පිරිසකට අයත් රුපියල් මිලියන 6ක් මෙසේ හොරකම් කරගෙන තිබෙන බව කියවේ.
හෝටල් දෙකක නවාතැන් ගෙන සිටි රුසියානු සංචාරකයින් පිරිසකගෙන් ලද පැමිණිලි මත විමර්ශන සිදු කළ අපරාධ විමර්ශන ඒකකය සහ උණවටුන සංචාරක පොලිසිය මේ වසරේ ජනවාරි මාසයේදී හෝටලයක හිමිකරු, ඔහුගේ පුතා සහ ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ පිලිබදවඋණවටුන සංචාරක පොලිසියේ සහය ඇතිව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කළේය.
කෙසේ වෙතත්, මෙම සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන හෝටලයේ හිමිකරු අත්අඩංගුවට නොගන්නා ලෙසට පොලිස්පතිවරයා සහ SIU අධ්‍යක්ෂවරයා තමන්ට බලපෑම් කළ බවට උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වසරේ මාර්තු මාසයේදී නඩුවක් පවරා තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අණ නොපිළිපැදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඊට පටහැනිව කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම නඩුව ජූලි 19 වැනිදා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ SIU අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළ හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලෙසයි.
2015 අංක 04 දරණ අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ උපකාර කිරීමේ පනතේ 08 වැනි වගන්තියේ විධිවිධාන අනුව එවැනි වරදක් සිදු වූ විට මහාධිකරණයක් හමුවේ අධි චෝදනා ඉදිරිපත් කිරීම නීතිපතිවරයාගේ යුතුකම බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
ඒ අනුව පනතේ විධිවිධාන අනුව කිසියම් පුද්ගලයකු වරදක් කර ඇත්දැයි සොයා බලා ඉදිරි නීතිමය පියවර ගැනීමට කරුණු නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කෙසේ වෙතත් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අනුව විමර්ශනයට යම් බලපෑමක් සිදුවී ඇති බව පැහැදිලි වන බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයෙදී දන්වා සිටියේය.
එබැවින් උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ ඔහුගේ නියෝග යටතේ ක්‍රියා කරන නිලධාරීන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අභ්‍යන්තර විමර්ශනය අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ඔහු නියෝග කළේය.















































