ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීමට දිවයින පුරා සිටින තම සාමාජිකයින් ඒ සඳහා යෙදවීට හැකි බවත් , අවශ්‍ය නම් අතුරු දීමනාවකින් තොරව කටයුතු කිරීමට සූදානම් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (15) මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වඩි දුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
“ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බව දකින්න තිබෙනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා බලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ . මොකද නිසි පුහුණුවකින් තොරව නිලධාරීන් සහ මහජනතාව යොදා ගෙන කාලය කා දැමීමෙන් මේ කටයුත්ත කරන්න පුළුවන්කමක් නොමැති බවයි කියන්න තියෙන්නේ.දිවයින පුරා සිටින සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා යොදවන්න අපිට හැකියාව තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපි එම කටයුත්තට සහභාගී වෙන්නේ අමතර කිසිඳු දීමනාවක් බලාපොරොත්තුවෙන් නොව ජාතික වගකීමක් ලෙස සලකා බලලයි.ඩෙංගු මදුරු කීටයින් සොයා යන ඇතැම් සෞඛ්‍ය සේවකයන්ට මහජනතාව විසින් විවිධ බාධා කිරීම් සිඳු කර ඇති බවත් පසුගිය දිනවල වාර්තා වී තිබුණා.මින් ඉදිරියට ඩෙංගු කීටයින් ඉන්නවාද කියලා සොයා බලන්න එන්න පෙර අපි ඒ සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමක් කරන්නේ නෑ.ඒ නිසා පොදු නිවේදනයක් කොට සලකා සියළුම ජනතාව ඒ සඳහා සහාය දෙන්න කියා ඉල්ලා සිටිනවා . කිසියම් ආකාරයකට සෞඛ්‍ය සේවකයන් ඩෙංගු කීටයින් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය විට බාධා කිරීම් කළහොත් අපි ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කියන්න කැමතියි.”














































