ගුරුවරියකගේ දෑත් දෙපා බැඳ රන් භාණ්ඩ සොරකම් කළ යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු බකමූණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දියසෙන්පුර සහ බකමූණ පොලිස් වසමේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර ගල්මුල්ල කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු නිවාසයේ පදිංචිව සිටි ගුරුවරියකගේ ලක්ෂ තිහකට ආසන්න වටිනාකමින් යුතු රන් භාණ්ඩ සහ යතුරුපැදිය මෙම සැකකරුවන් දෙදෙනා විසින් පසුගිය 25 වැනිදා සොරාගැනීම සිදු කර තිබේ .
බකමූණ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ පුද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ලද තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන බවත් , සොරාගන්නා ලද රන් භාණ්ඩ විවිධ ස්ථානවල උකස් කර තිබියදී සොයා ගෙන ඇති බවත් , අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (31) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .














































