පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට අද (10) අළුයම හම්බන්තොට උඩමලල හංදිය අසල දී පොලිසිය විසින් වෙඩි තබා ඇති අතර එම කැබ් රථය නතර කර ගැනීමෙන් අනතුරුව එය පරීක්ෂා කිරීමේ දී බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වී තිබේ.
හම්බන්තොට මූලස්ථාන පොලිසියේ නිලධාරීන් රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටින විට උඩමලල හංදිය අසල දී කැබ් රථයක් ධාවනය වී තිබෙන අතර එය නතර කිරීම සඳහා අණ ලබා දුන්න ද එම අණ නොතකා කැබ් රථය ධාවනය කර තිබේ.එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ පොලිසිය විසින් සිය රාජකාරිය සඳහා යොදාගත් ටී 56 ගිනි අවිය යොදා ගනිමින් අහසට වෙඩි තබා තිබේ. එම වෙඩි තැබිමත් සමඟ කැබ් රථය නතර කර එහි සිටි එක් අයෙකු එම අවස්ථාවේ දී පලා ගොස් ඇති අතර කැබ් රථයේ රියදුරු සහ කැබ් රථය පොලිස් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙ පදිංචි අයෙක් වන අතර කැබ් රථය එහි රියදුරුගේ බිරිඳට අයිති එකක් බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
 
	    	



























 
		    

















