කාඩ්පත් හිඟය හා ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කිරීම සඳහා ගොඩ ගැසී ඇති රියැදුරු බලපත් ප්‍රමාණය ලක්ෂ නවය ඉක්මවා තිබෙන බව වාර්තා වේ .
විදේශ විනිමය හිඟය හේතුවෙන් මීට වසරකට පෙර රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට කාඩ්පත් ගෙන්විය නොහැකි වූ නමුත් පසුව කාඩ්පත් ලක්ෂ 10 ක් ඔස්ට්‍රියාවෙන් ආනයනය කිරීමට පියවර ගන්නා ලදී .
ඒ අනුව සුහුරු චීපය සහිත කාඩ්පත් ලක්ෂ පහක් සහ කිව් ආර් කේතාංකය සහිත කාඩ්පත් ලක්ෂ පහක් වශයෙන් ගෙන්වනු ලැබීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියැදුරු බලපත් කාර්යාලයේ යෝග්‍ය තත්වයේ පවතින්නේ මුද්‍රණ යන්ත්‍ර දෙකක් පමණක් බවත් , එමගින් දිනකට මුද්‍රණය කළ හැක්කේ කාඩ්පත් දෙදහසක් පමණ බවත් සදහන් .
මේ වනවිට චීපය සහිත කාඩ්පත් ලක්ෂ පහම මුද්‍රණය කර අවසන් වී ඇති අතර කිව් ආර් කේතාංකය සහිත කාඩ්පත් මුද්‍රණය කිරීම පසුගිය 16 වැනිදා සිට ආරම්භ කර තිබේ .
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ තවත් මුද්‍රණ යන්ත්‍ර තුනක් මෙම මාසයේදී ලැබීමට නියමිත බවත් , ඉන් දිනකට රියැදුරු බලපත්‍ර 6000 – 7000 ත් අතර සංඛ්‍යාවක් ලබන මාසයේ සිට මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන බවත් ය.
මේ අනුව දැනට ගොඩ ගැසී ඇති සියලුම ඉල්ලුම්කරුවන්ගේ රිය බලපත් මාස හයකින් ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කරන ලදී .
එමෙන්ම දැනට තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කර සිටින අයගේ බලපත්‍ර කල් ඉකුත් වී ඇත්නම් හෝ රියදුරු බලපත් කාඩ්පත මෙතෙක් හමුවී නැති නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාලවලින් ඒවායේ කාලය දීර්ඝ කරගත හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබේ .















































