විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසී ඇති බව ජනාධිපති මාද්‍ය අංශය වාර්තා කරයි.
මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් වන්නේ රජය සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට උත්සාහ කරන බැවිනි. මෙම මස මුලදී, ශ්‍රී ලංකාවට, පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය ඇතුළු එහි නිල ණයහිමියන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුකූල මූල්‍ය සහතික කිරීම් ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විධායක කමිටුවක් කැඳවීමට සහ ණයක් සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට ඉඩ සලසමිනි. පෙර නොවූ විරූ අභියෝගවලින් ආර්ථිකය මුදවා ගැනීමට සහ සියලු පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය අවකාශය මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
“ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අකණ්ඩ සහ ධනාත්මක ක්‍රිරියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මුල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ආරම්භයේ සිටම, මුල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු. දූරදර්ශී මිලය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි.
මා ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුගිය ජූලි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීම මගේ ප්‍රමුඛතාවය විය. ඒ සඳහා අපි දැඩි තීරණ කිහිපයක් ගත්තෙමු. නමුත් අපි එසේ කළේ අපගේ සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමට, අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කිරීමට, දූෂණය මුලිනුපුටා දැමීමට සහ සියල්ල ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශනීය ආර්ථිකයක් වර්ධනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඇති කැපවීම නිසාය. අපේ රට සඳහා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතා වැදගත් අතර, එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට අපි කැපවී සිටිමු. අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අකණ්ඩව සම්බන්ධ වී සිටින අතර, අපගේ ඉදිරි කටයුතුවල සන්දර්භය තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට අපගේ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන්නෙමු. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වනු ඇති අතර, ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බව පෙන්නුම් කරනු ඇත.”
සංස්කාරකවරුන්ට සටහන:
ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් 1 වන දින විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹිණි. ඇමරිකානු ඩොලර් බිලියන 3ක මෙම වැඩසටහන මඟින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතිය ආරක්ෂා කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. සැප්තැම්බර් මාසයේ සිට, ශ්‍රී ලංකා රජය, රටේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ශ්වකරුවන් යාවත්කාලීන කිරීමට විනිවිදභාවයෙන් තොරතුරු බෙදා ගැනීමට මෙන්ම වාණිජ ණය හිමියන් සමඟ සම්බන්ධවීමට නිල ණය හිමියන්ගේ රැස්වීම් පවත්වා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විධායක කමිටුවේ අනුමැතියෙන් පසුව, මෙම වැඩසටහන යටතේ පළමු වාරිකය ලබාදීම ඉදිරි දිනවලදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව සදහන්වේ.















































