නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගෙන් 17 දෙනෙක් සංකුලතාවන්ට මුහුණදී ඇති බවත් , මුළුමනින්ම අන්ධභාවයට පත් වූ පුද්ගලයන් දෙදෙනෙකු සිටින බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලේ ඊයේ (31) පැවති ජනමාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිත අක්ෂි විශේෂඥ වෛද්‍ය කණිෂ්ක අබේරත්න මහතා ,
“නොයෙක් තොරතුරු සමාජගත වූවත් මෙහි සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීමට නොයෙක් පුද්ගලයන් බියවීම හමුවේ මහජනතාවට දැනගැනීම පිණිස මෙය හෙළි කරනවා. මහජනතාව හිතන් ඉන්නෙ ඇස්වලට දාන බෙහෙත් වැරදුණේ දොස්තරලා නිසා කියල. මේකෙ වගකීම අපට භාර ගන්න බැහැ. ඒකට මූලිකවම වගකියන්න ඕන රජය. බාල බෙහෙත් ගෙන්වන්නේ රජයේ ලාභ ප්‍රයෝජන සදහා. නොයෙක් බෙහෙත් වර්ග හදිසි මිලදී ගැනීම යටතේ ගෙන්වන්නේ බහුතරයක් ම බාල බෙහෙත්. ඒකෙන් තමයි පෙඩ්‍රිනිසිලෝන් අක්ෂි බෙහෙත.“
” මින් ඉදිරියටවත් මේ වගේ බාල බෙහෙත් ගෙන්වන්නේ නැතිවෙන්න වගබලා ගන්න ඕන. වෛද්‍යවරුන් කියලා අපි හිටියත් සමහර තැන්වලදී මානසික ලෙඩ්ඩු වගේ තමයි අපිව ඒ තත්ත්වයට ඇදදාලා තියෙන්නෙත් රජය විසින්. වෛද්‍යවරුන්ට හරිහැටි සළකන්නේ නැති නිසා පහසුකම් හදල දෙන්නෙ නැති නිසා, වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් රට හැරලා යනවා.
දිගින් දිගටම මේ වගේ යන්න ගියොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙනවා.“
“අක්ෂි සායනවලින් අගතියට පත්වූවන්ට රජයෙන් කිසිදු වන්දියක් හෝ සහනයක් ලබා දීලා නෑ. වන්දියක් ලබාදුන්නත් නැවත ඇස් පෙනීම ලැබුණේ නැත්නම් ඒ වන්දිය කී දවසකට ද? වන්දියෙන් එහා දෙයක් ඒ අහිංසක ජනතාවට ලබාදීම අනිවාර්ය වෙනවා.”















































