පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල පරිභෝජනය සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇති බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් එක් පුද්ගලයකුගේ සාමාන්‍ය දිනක දෛනික ජල පරිභෝජනය ලීටර් 120කි. නමුත් වියළි කාලගුණික තත්ත්වයත් සමග මෙම ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.
අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල මූලාශ්‍රවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස තිබේ.
මේ නිසා ජල සම්පාදන ක්‍රමවලට සපයාගත හැකි ජල ප්‍රමාණය අඩුවීමෙන් දිස්ත්‍රික්ක 11ක ජල සම්පාදන ක්‍රම 43ක ජල සම්බන්ධතා 131132කට ජලය සැපයෙන්නේ මුර ක්‍රමයට හෝ බවුසර් මගින් බවද ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රත්නපුර, මහනුවර, මාතලේ, බදුල්ල, කළුතර, නුවරඑළිය, මාතර, හම්බන්තොට, අම්පාර, මොනරාගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ජල සම්පාදන ක්‍රමවලට ජලය සපයා ගන්නා ජල මූලාශ්‍රවල ජල ධාරිතාවය අඩු වී තිබේ.
මහනුවර හන්තාන ප්‍රදේශයට සියයට සියයක්ම ජලය සැපයෙන්නේ මුර ක්‍රමයට බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය පැවසුවාය.
ජල පාරිභෝජනය මේ දිනවල ක්‍රමයෙන් වැඩිවීම නිසා ජල සම්පාදන ක්‍රමවල ප්‍රධාන ජල ටැංකිවල ජල ප්‍රමාණය ඉක්මනින් අවසන් වන බවත්, දැඩි උෂ්ණත්වය නිසා ඇතැමුන් දිනකට අවස්ථා දෙකක් හෝ තුනක් ස්නානය කරන බවද ඇය පවසයි.
ඇය වැඩිදුරටත් සදහන් කරන්නේ ජල මූලාශ්‍ර රැසක් සිඳී පවතින මෙම අවස්ථාවේ පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, වාහන සේදීම, නළ මගින් මල්වලට ජලය දැමීම ආදී කටයුතු නොකරන ලෙසයි.














































