ඇතැම් කාන්තාවන් තම සම පැහැපත් කර ගැනීම සඳහා ආලේපනය කරන අලේපන නිසි ආකාරයෙන් සොයා බැලීමකින් තොරව භාවිතා කිරීමට පෙළඹී ඇති බව අද (14) සෞඛ්‍ය කාර්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය.
“අපි අන්තර්ජාලයට ගිහින් බැලුවොත් මෙන්න මේ ආලේපනය විකුණනවා කියලා කිව්වොත් ඒකට යටින් තියෙන කමෙන්ට්වල මම දැකලා තියෙන්නේ, එකම දේ තමා “කොච්චර ඉක්මනට සුදුවෙනවා ද? ගාණ කීයද ?” කිසිම කෙනෙක් අහන්නේ නෑ මේකේ මොනවා ද තියෙන්නේ කියලා. කිසිම කෙනෙක් අහන්නේ නෑ මේක ආරක්ෂිත ද? මේක රෙජිස්ටර් කරලා ද? අනුමැතියක් ලැබිලා තියෙනවා ද කියලා. ඒ වගේ දෙයක් ඇහුවත් අහන්නේ අපි වගේ අය. ඔන්න ඔතැන තමා තියෙන්නේ ගැටලුව. ලස්සන කියලා කියන්නේ සුදුයි කියන මිත්‍යාවට, ඒ උන්මාදයට අපි පත්වෙලා තියෙනවා. ඒක එන්න එන්න වැඩිවුණා. හිමින් සුදුවෙන්නත් බෑ. ගොඩක් සුදුවෙනවා නම් වඩා හොඳයි. ඒ තරම් කැමැත්තෙන් ඉන්නේ. අපි කෙනෙක්ට දෙයක් නිර්දේශ කරද්දි අපි සුදුකරන්න යන්නේ නෑ. අපි පාට වෙනස් කරන්න උදව් කරනවා නම් ඒක අපි කරන්නේ හෙමින්.”













































